උදේ පාන්දරම බස් එකට ගොඩ වුණේ පැය බාගෙකට වඩා නැවතුමේ හිටගෙන ඉඳලා. වෙනදා මිනිත්තු පහෙන් දහයෙන් ගාලු පාරේ ඉගිලෙන බස් අද ටිකක් හිඟයි. අම්බලන්ගොඩ - කොළඹ බස් එකක් ඇවිල්ලා නැවැත්තුවා. වෙනදට වඩා ටිකක් සෙනඟ හිටියත් වාඩිවෙන්න ආසනයක් තිබුණා.
මේ ගෙවෙන්නෙ අපේ ජීවිතවල අමාරුම දවස්. ඊයෙත් බස් ගාස්තු සංශෝධනය කරලා. හිතේ අඩමානෙට වැඩි වෙච්ච අලුත් ගාණ අනුමාන කරලා පසුම්බියෙන් සල්ලි ගත්තා අතට. කොන්දොස්තරට පිටිපස්සට එන්න වුවමනාවක් නෑ වගේ. සින්දුවක් අහගෙනම ගමනේ ඉතුරු ටික යන්න හිතාගෙන, මම ගහගත්තා කන් දෙකේ සින්දු අහන ඇබ දෙක. හැමදාමත් කියනවා වගේ බස් එකක යද්දි එද්දි අපි කාත් එක්කවත් කතා නොකළට, අපි අපිත් එක්ක හිතෙන් කතා කරනවා. ඒ නිහඬ බව ඇතුළෙ තියෙන්නෙ කතා කරන සිතුවිලි මිලියන ගාණක්. සින්දු අහන ඇබ දෙකේ පිහිටෙන් මාත් හිටියේ ඒ වගේ සිතුවිලි යායක තනිවෙලා.
ආ.. කොන්දොස්තර ළඟට ඇවිල්ලා. කමිසේ උඩ සාක්කුවේ දාගෙන හිටපු සල්ලි ටික මම දුන්නා ඔහුගේ අතට. සල්ලි ටික අරගෙන ඔහු හිනාවෙලා මගේ දිහා බලලා
කොන්දොස්තර : මේ අලුත් ගාණද දුන්නේ.. ?
මම : ඔව්, මම හිතන්නේ ඔය ගාණ වෙන්න ඕන ඇති දැන්. ඇයි මදිද?
කොන්දොස්තර : අද අපි ගන්නෙ පරණ ගාණ. හෙට ඉඳන් අලුත් ගාණ. මිනිස්සුන්ට අමාරුයිනේ.
මම ඔහු එක්ක හිනා වුණා. අපගේ සංවාදය නිමා වුණා. ඊට පස්සේ මිනිත්තු පහක් විතර බඹර චක්කරයක් වගේ මගේ හිත කොන්දොස්තර මිත්‍රයා කිව්ව කතාව වටා භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වෙන්න පටන් ගත්තා.
ඔහු හැමදාම රුපියලේ දෙකේ අවනඩුවල චූදිතයො වෙන කොන්දොස්තරවරුන් අතරින් කෙනෙක්. මට ඔහු ගැන මොහොතින් ඇතිවුණේ විශාල ගෞරවයක්. අපේ කෙටි සංවාදයෙන් පස්සේ අන්න ඔහු අපූරු වැඩක් පටන් අරගෙන. හැමෝටම කියනවා අද ගන්නෙ පරණ ගාණ කියලා. හෙට ඉඳන් ගාණ මේක නෙවෙයි කියලත් මතක් කරනවා. තවත් මොන මොනවද කුටු කුටු ගානවා. මිත්‍රයා ටිකක් කටකාර චරිතයක්.
අවසානයේ මම තීරණය කළා ජංගමය අතට අරගෙන මේ කතාවේ අකුරු අමුණන්න. ඔයාලා මේ කියවන්නේ ජීවිතෙන් ඇසිල්ලක ලියවෙන ඒ ලියවිල්ල. දැන් මම ඔහු දිහා විටින් විට බල බලා මේ කතාව අමුණනවා.
කොන්දොස්තර මිත්‍රයා තරුණයෙක්. රතු පාට කැප් තොප්පියක් පිටිපස්සට දාලා ඉන්නේ. කළු පාට ටී ෂර්ට් එකකට ඩෙනිමක් ගහලා ඉන්නේ. පොඩි ගැන්ස්ටර් පෙනුමක් තියෙන මොඩන් ඩයල් එකක්. ටිකක් බරසාර රස්ති කටහඬක් තියෙන්නේ මිත්‍රයට. ඉස්සරහට පස්සට කැඳවීම් නම් ටිකක් වැඩියි. සෙනඟ වැඩි නිසා වැඩි දුරක් යන්නේ නැතුව බස් එක පිරුණා.
දැන් හැමෝටම පහසුවෙන් බස් එකේ යන්න පුළුවන් වෙන්න ඔහු ශිල්පීය උපක්‍රම අනුගමනය කරනවා. ඉස්සරහිනුයි පස්සෙනුයි කට්ටියව මැද හිස්තැන්වලට පුරවන්න මිත්‍රයා කෑගහනවා. ඇත්තටම ඒක ඔහුගේ රාජකාරියේ කොටසක්. ඒත් හැමදාකම වගේ මේ කෑගැහිල්ල සම්බන්ධව මූණ බෙරි කරගෙන තමයි ගොඩක් දෙනා බස් එකේ මැදට යන්නේ. ඇත්තටම මිනිස්සු හිතන්නේ තමන්ගේ පහසුව ගැන විතරයි. බස් එකකදි හිටගෙන යනකොට තව කෙනෙක්ට චුට්ටක් ඉඩ දෙන්න කාටවත් වුවමනාවක් නෑ. චුට්ටක් ඉවසලා බස් එකේ මැදට යන එකෙන් තව කෙනෙක්ට සිද්ධවෙන්නේ යහපතක්. ඒත් අපි කවුරුත් එහෙම කරන්න කැමති නැහැ. ඔව්, මේක මහ ආත්මාර්ථකාමී ලෝකයක් තමා.
ම්ම්... මේ තීරණය ඔහුගෙමද? නැතිනම් බස් හිමියාගෙද? නානාවිධ ප්‍රශ්න මගේ හිතේ මතුවෙනවා මේ අතර. මොනවා වුණත් ඒ කතාව කිව්වේ ඔහුනේ. පස්සෙ ගොඩවුණු ගොඩක් දෙනෙක්ට ඔහු ඒ කතාව ඒ විදියටම කිව්වා. මේ තීරණය සම්බන්ධ ගෞරවය බස් අයිතිකාරයාට, රියදුරු මහත්තයට වගේම කොන්දොස්තර මිත්‍රයාටත් අයිතියි. ඒ සම්බන්ධව තවදුරටත් හිතන්නෙ නැතුව ඉන්න ඒ නිසා මම තීරණය කළා. ඇත්තටම හොඳ දෙයක ගෞරවය බෙදාගැනීම සහ බෙදා දීම පිළිබඳ පොඩි අවුලකුත් මිනිස්සු වෙච්ච අපිට තියෙනවා.
ලාභ පාඩු විතරක්ම නෙවෙයි, ජීවිතේ කියලා කියන්නේ. අපි හැමෝම අනිත් අයගේ අමාරුකම් තේරුම් ගන්න ඕන. ඇසිල්ලක කෙනෙක්ට සැනසුමක් ලැබෙන වචනයක් මුමුණන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ සෑහෙන්න වටිනවා. කාත් එක්කවත් කේන්ති ගන්න නරකයි. හැමෝම ජීවත් වෙන්නේ ලොකු පීඩනයක. බොරුවට ගහ මරාගෙන නම් තේරුමත් ඇත්තෙම නෑ.
ම්ම්ම් බලන්න, සමහරවිට ඊයේ තීරණය සම්බන්ධව එච්චර නොදන්නා අය අද මඟතොට යනවා ඇති. සමහරුන්ගේ අතේ යන්න එන්න ගාණට වියදම ඇත්තේ. ඇති හැකි පන්තියේ ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට අපේ බහුතරයකගේ ජීවිතවල ස්වභාවය ඒක. ඒ නිසාම මේ මොහොතේ මේ බස් එක ඇතුළේ කොන්දොස්තර මිත්‍රයා ඇතුළු පාලකයෝ අරගෙන තියෙන තීරණය මහමෙරක් තරම් වටිනවා.
පුංචි සිද්ධියක් සිද්ධ වුණා. මම ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා. බස් එක පිරුණු නිසා හරියට පෙනුණේ නෑ. කවුරු හරි කොන්දොස්තර මිත්‍රයාගෙන් ඉතුරු රුපියලක් දෙකක් ඉල්ලුවා. ඊට පස්සේ වචන කිහිපයක් හුවමාරු වුණා වගේ. එච්චර පැහැදිලි නෑ.
“මේ කෙල්ලො කොල්ලෝ ඉතුරු රුපියල දෙක ඉල්ලන්නෙ නෑ. මේ වයසක ඩයල් තමයි මෙහෙම ඉල්ලන්නෙ. අතේ තියෙනවා නම් අපි නොදී ඉන්නෙ නෑ. අද උදේ වරුවේ හාර පන්දාහක් ලාභ ගන්න තිබුණා අලුත් ගාණට දිව්වා නම්. පරණ ගාණට දුවද්දිත් මෙහෙම කරනවානෙ."
ඒක ටිකක් සැර නෝක්කාඩුවක්. පැති කිහිපයකින් හිතන්න පුළුවන් වුණත් මේ පාර මම හිටගත්තේ කොන්දොස්තර මිත්‍රයගෙ පැත්තේ. ඒත් රුපියලක් දෙකක් වෙනුවෙන් මිනිස්සු වද වෙන්නේ හේතුවක් නැතුවම නෙවෙයි. ඇත්තටම අපිට පේනවට වඩා මිනිස්සුන්ගෙ ජීවිතවල රිදුම් විදුම් පීඩාවන් තියෙනවා.
බස් එකෙන් බහින්න ළං වෙනකොට මම හිතාගත්තා වචනයක් දෙකක් හරි කොන්දොස්තර මිත්‍රයාට කතා කරන්න ඕන කියලා. ඇත්තටම මට ඕන වුණේ ඔහුට ස්තූතියි කියලා කියන්න. ආ අමතක වුණා කියන්න. සෙනඟ ටිකක් අඩු වුණාම මම සීරුමාරුවට සේයාරුවක් ගහගත්තා මිත්‍රයගෙ. ඔන්න, කොල්ලුපිටියෙන් බහින්න වෙනදා නැගිටින්න තැනට කලින් නැගිටලා මම ඉස්සරහට ගියා.
පා පෝරුව ළඟට ගිහිල්ලා ඔහුට තට්ටුවක් දාලා කිව්වා "අද කරපු වැඩේ නම් පට්ට" කියලා. ඊට පස්සේ වචන දෙක තුනක් අපි කතා කළා. ඔහු මේ ඉඳුරුව පැත්තෙ කොල්ලෙක්. රටක් වටින හදවතක් තියෙන එකෙක්. ඒ නිසාම මම ඔහුට ගෞරවේ දීලා බස් එකෙන් බැස්සා. බහිනකොට මම කිව්වා "ලබන ඉරිදා දේශය පත්තරේ බලන්න උඹ ගැන පොඩි කෑල්ලක් දානවා මචං" කියලා.
කොහොම හරි දැන් මේ සටහන මම ඉවර කරන්නේ පත්තර කන්තෝරුවට ඇවිල්ලා. කොල්ලුපිටිය ඉඳන් කන්තෝරුව ගාවට 177 කඩුවෙල බස් එකේ අලුත් ගාණ තමයි ගත්තේ. අද හැම බස් එකකම මෙහෙම කරනවා කියලා පුංචි හරි සැකයක් තිබුණා නම් අවසානෙදි ඒකත් නැතිවුණා. මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් ලාභ පාඩු ජීවිතේ කරගත්ත අය. ඉතාම සුළුතරයයි මනුෂ්‍යත්වය ආදරය ජීවිතවල ලොකු කොටසක් බවට පත් කරගත්ත අය. ඒ කොන්දොස්තර මිත්‍රයා වගේම බස් හිමියත්, රියදුරු මහත්තයත් අයිති වෙන්නේ ජීවිතේ ආදරය ඉතුරු කරන මිනිස්සුන්ගේ ගොඩට.
ඔයාලා ආදරය ඉතුරු කරන්න.. ! අමාරුම තැන්වලත් ජීවිතය ලස්සනට පෙනේවි.
I නිසල්